Friday, May 10, 2024

General line - 0115112241

LPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සල්ලි මල්ලක් - කෝටි 03 නේ වැඩිම ලන්සුව දිල්ෂාන් මධුෂංකට




ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට පසු ලොව මෙතෙක් පැවති ෆ්‍රැන්චයිස් හෙවත් ක්‍රීඩක වෙන්දේසි සිදුකළ ක්‍රිකට් තරගාවලි අතරට එක්වූ ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ රාත්‍රියේ අවසන් වුණා.

ඒ, මෙරට ක්‍රීඩකයින් සඳහා ඉහළම මිලක් හිමිකර දෙමින්.

එහිදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූයේ වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකයි.

අමෙරිකානු ඩොලර් 92,000 ක මුදලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඔහු මිලදීගත් අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3 කට ආසන්නයි.

මීට අමතරව දෙවැනියට වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූ චරිත් අසලංක අමෙරිකානු ඩොලර් 80,000 ක මුදලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා.

ධනංජය ද සිල්වාව දඹුල්ල අවුරා කණ්ඩායම විසින් අමෙරිකානු ඩොලර් 76,000 ක මුදලකටත්, ඩොලර් 72,000 ක මුදලකට දිනේෂ් චන්දිමාල් සහ ඩොලර් 70,000 ක මුදලකට දුෂ්මන්ත චමීර නුවර කණ්ඩායම මිලදී ගත්තා.

බිනුර ප්‍රනාන්දුට ඩොලර් 76,000 ක්ද, සදීර සමරවික්‍රමට ඩොලර් 68,000 ක්ද, කමිඳු මෙන්ඩිස්ට ඩොලර් 60,000 ක මිලක්ද හිමිවුණා.

විදෙස් ක්‍රීඩකයින් අතරින් වැඩිම මිලකට අලෙවි වූයේ නවසීලන්තයේ චැඩ් බෝව්ස්. අමෙරිකානු ඩොලර් 58,000 ක මුදලකට ඔහු මිලදී ගත්තේ ගාල්ල කණ්ඩායමයි.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කොන්දේසිවලට අනුව වෙන්දේසියට පෙර දේශීය ක්‍රීඩකයින් දෙදෙනකු සහ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනා බැගින් කණ්ඩායම් වලට එක් කර ගැනීමට අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුව විදේශීය ක්‍රීඩකයින් වන බාබර් අසාම් සහ නසීම් ෂා කොළඹ කණ්ඩායමටත්, මැතිව් වේඩ් සහ ලුංගි න්ගිඩි දඹුල්ල කණ්ඩායමටත්, ශකීබ් අල් හසන් සහ ටබ්‍රේස් ශම්සි ගාල්ල කණ්ඩායමටත්, ඩේවිඩ් මිලර් සහ රාමනුල්ලා ගුර්බාස් යාපනය කණ්ඩායමටත් සහ මුජිබර් රහමන් සහ ෆකර් සමාන් නුවර කණ්ඩායමටත් එක්ව සිටිනවා. 

කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු දඹුල්ල කණ්ඩායමටත්, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න කොළඹ කණ්ඩායමටත් දසුන් ශානක සහ භානුක රාජපක්ෂ ගාල්ල කණ්ඩායමටත්, මහීෂ් තීක්ෂණ සහ තිසර පෙරේරා යාපනය කණ්ඩායමටත් එක්වද්දී වනිඳු හසරංග සහ ඇන්ජලෝ මැතිව්ස් ගිවිසුම්ගතවී ඇත්තේ නුවර කණ්ඩායමේ දේශීය ක්‍රීඩකයින් ලෙසයි.

මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 156 ක් සහ දේශීය ක්‍රීඩකයින් 204 ක් වශයෙන් ක්‍රීඩකයින් 360 දෙනෙක් ඉදිරිපත් කර තිබුණා.

එහෙත් තරඟාවලියට එක්වන කණ්ඩායම් විසින් මිලදී ගත්තේ ක්‍රීඩකයින් 115 ක් පමණයි.

එක් කණ්ඩායමකට උපරිම එක්කරගත හැකිවූයේ ක්‍රීඩකයින් 24 දෙනෙකු පමණයි.

ඒ අනුව කොළඹ, දඹුල්ල සහ ගාල්ල යන කණ්ඩායම් සිය සංචිතයට ක්‍රීඩකයින් 24 දෙනා බැඟින් එක්කරගෙන ඇති අතර නුවර සංචිතය ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සහ යාපනය සංචිතය ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් සමන්විතයි.

ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලිය ලබන ජූලි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි.