Sunday, May 12, 2024

General line - 0115112241

අයර්ලන්තය පැරදූ ශ්‍රී ලංකාව සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබයි




2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 03 වන ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ, අයර්ලන්ත කණ්ඩායම ලකුණු 133 කින් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 05 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 325 ක් රැස් කළා.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ දිමුත් කරුණාරත්න සිය එක්දින දිවියේ මංගල ශතකය වාර්තා කරමින් ලකුණු 103 ක් ලබා ගත්තා.

සිය 03 වන එක්දින අර්ධ ශතකය අද වාර්තා කරමින් සධීර සමරවික්‍රම ලකුණු 82 ක් රැස් කළා. 03 වන කඩුල්ල වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ සධීර සමරවික්‍රම එක්ව ගොඩනැගූ සබඳතාව 168 ක්. 

ඒ අනුව ලකුණු 326 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 31 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 192 ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 79 කට කඩුළු 05 ක් දවා ගත්තා. 

මෙම තරගයේ ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, ප්‍රසාද ලකුණු 06 ක් ලබාගනිමින් බී කාණ්ඩයේ පෙරමුණ ද හිමිකර ගනිමින්.