Monday, November 25, 2024

General line - 0115112241

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට පළමුවෙන් යන්නේ ශ්‍රී ලංකාවද? සිම්බාබ්වේ ද? තීරණය අද




එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 06 දෙනාගේ වටයේ අතිශය තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා. ඒ, 
ශ්‍රී ලංකාව හා සත්කාරක සිම්බාබ්වේ අතරයි. ඒ අනුව අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති. මෙම කණ්ඩායම් දෙකම මේ වන විට තමන් සහභාගී වූ තරග සියල්ලම ජය ගෙන ඇති බැවින් අද තරගය මෙවර තරගාවලියේ සුපිරිම තරගය වනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයන් මත පල කර ඇත්තේ. 


කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව සිම්බාබ්වේ පිතිකරුවන්ගේ දක්ෂතා ඉදිරියෙන් තීබීම හේතුවෙන් අද තරගය සිම්බාබ්වේ පිතිකරුවන් හා 
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර තරගයක් වනු ඇති. ඒ අනුව සුපිරි හය දෙනාගේ වටයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබන පලමු කණ්ඩායම වනවා. 
මේ අතර ඉතිහාසයේ පලමු වරට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එක්දින ක්‍රිකට් ලෝක කුසලානයකට සුදුසුකම් ලැබීමට ඊයේ නොහැකි වුණා. ඒ, ඊයේ පැවති තරගයෙන් ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන්. මෙම තරගය පැවැත්වුණේ එක්දින ලෝක කුසලානයට සුදුස්සන් තේරීමේ තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය දෙනාගේ වටයේ තරගයක්  ලෙසයි. 
බටහිර ඉන්දීය කොදෙව්වන් යනු දෙවරක් එක්දින ලෝක කුසලානය දිනූ කණ්ඩායමක්. ඔවුන් 1975 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව එක්දින ලෝක කුසලාන තරගාවලි සඳහා ක්‍රීඩා කර තිබෙනවා.
ඉතිහාසයේ පලමුවරට පැවති 1975 එක්දින ලෝක කුසලානය මෙන්ම 1979 වසරේ පැවති එක්දින ලෝක කුසලානය ද දිනා ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. එමෙන්ම 1983 වසරේ පැවති තුන්වන ලෝක කුසලානයේ අනු ශූරයින් වූයේද කොදෙව්වන්.