Friday, October 18, 2024

General line - 0115112241

වැග්නර් පෙන්වා රටවල් දෙකක් ලොවම අන්දයි




රුසියාවට එරෙහිව දියත් කළ කැරැල්ලට නායකත්වය දුන් වැග්නර් කුලී හමුදාවේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් සිටින්නේ රුසියාවේ මිස බෙලරුස් රාජ්‍යයේ නොවන බව බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝ පවසනවා.

ඔහු එලෙස ප්‍රකාශ කළේ කැරැල්ලෙන් අනතුරුව වැග්නර් නායකයා බෙලරුසයට පැමිණි බව ඔහු විසින්ම තහවුරු කර තිබූ පසුබිමක් තුළයි.

එහෙත් ප්‍රිගොෂින් සිටින ස්ථානය අභිරහසක් ලෙසයි මෙතෙක් පැවතුනේ.

ඒ සිය නායකයා රැඳී සිටින්නේ කොහිද යන්න වැග්නර් හමුදාව විසින් තහවුරු නොකිරීම හේතුවෙන්. කැරැල්ල අසාර්ථක වී වැග්නර් හමුදාව පසුබැසීම හමුවේ රුසියාව එම හමුදාවට එරෙහි චෝදනා ඉවත් කරනු ලැබුවා.

එහි නායක යෙව්ගනි ප්‍රිගොෂින්ට අවසර හිමිවූයේ බෙලරුසය වෙත යාමටයි.

කෙසේවෙතත් ඊයේ දිනයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරමින් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පැවසුවේ වැග්නර් නායක ප්‍රිගෝෂින් රැඳී සිටින්නේ රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර බවයි.

කෙසේවෙතත් බෙලරූස් නායකයාගේ ප්‍රකාශයට රුසියාව ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ක්‍රෙම්ලිනය පවසන්නේ රුසියාව ප්‍රිගොෂින්ගේ ගමන් බිමන් පිළිබඳ සොයා නොබලන බවයි. කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය පවසන පරිදි වැග්නර් නායකයාට අයත් ගුවන් යානයක් ජුනි මාසය අවසානයේ දිනයක බෙලරූස් රාජ්‍යය බලා පියාසර කර තිබෙනවා.

එය එදිනම සවස යළි රුසියාව බලා පැමිණ ඇතැයි ද සඳහන්.

අනතුරුව එම ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සහ සාන්ත පීටර්ස්බර්ග් නුවර අතර ගුවන් ගමන් කිහිපයක් සිදු කර ඇතැයි ද සඳහන්. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද වැඩි වශයෙන් රැඳී සිටින්නේ මොස්කව් හා සාන්ත පීටර්ස්බර්ග් යන නගරවලයි.