Friday, October 18, 2024

General line - 0115112241

පේරාදෙණිය රෝහලේදී මිය ගිය තරුණියගේ සිද්ධිය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් අද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්




පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි ඵන්නතක් ලබා දීමෙන් අනතුරුව තරුණියක් මියගිය බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේදී කරුණු දක්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

මහනුවර පොත්තපිටිය, අලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි අදාළ තරුණිය පසුගිය 11වනදා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබුණේ උදරාබාධයක් හේතුවෙන්.

එහිදී එන්නත් දෙකක් ලබා දිමෙන් පසුව ඇය මිය ගිය බවට එම තරුණියගේ ඥාතීන් චෝදනා කරනවා.

එවන් පසුබිමක් තුළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව රැසක් අදහස් පළ කළා.

එයද පාදක කර ගනිමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පසුගියදා පත් කෙරුණා.

ඵම කමිටුවේ සාමාජිකයින් පසුගිය 15වනදා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ගොස් ඵම සිදුවීමට අදාළ කරුණු සොයා බැලීමක් සිදු කළා.

ඉන් අනතුරුව එම තරුණියට ලබා දී තිබූ එන්නත් ඛාණ්ඩයට අදාළ ඖෂධ මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී තාවකාලිකව භාවිතයට ගැනීම අත්හිටුවීමටද පියවර ගැනුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාලවරයාගේ ප්‍රදානත්වයෙන් අදාළ සිදුවීම පිළීබඳ විමර්ශනය කළ කමිටුව එහි වාර්තාව ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත භාර දි තිබෙනවා.

කෙසේ වෙතත් ඖෂධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්ද විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස්, මහාචාර්ය චන්දිම ජීවන්දර, මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති, මහාචාර්ය නිතුෂි සමරනායක, මහාචාර්ය එස් එස් පී වර්ණකුලසූරිය, ආචාර්ය සෙනිත් ලියනගේ සහ ආචාර්ය පිලිප් එච් ලී එම විශේෂඥ කමිටුවේ සෙසු සාමාජිකයන් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.