එල් පී එල් ක්රිකට් තරගාවලියේ දෙවන තරගය තියුණු සටනකින් පසු ජය ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.
ඒ, දඹුල්ල ඕරා කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ඕරා කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 180ක් රැස් කළා.
භානුක රාජපක්ෂ පන්දු 34කදී ලකුණු 48යි. නායක දසුන් ශානක පන්දු 21කදී නොදැවී ලකුණු 42 ක් රැස් කළා.
ලකුණු 181 ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දඹුල්ල ඕරා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 7 ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 180ක් පමණයි.
ධනංජය ද සිල්වා පන්දු 31කදී ලකුණු 43 යි.
ලකුණු සමවීම හේතුවෙන් තරගය ජයග්රාහකයින් තීරණය කිරිමට සුපිරි පන්දුවාරයක් ක්රියාත්මක කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ඕරා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 9 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දු දෙකකදී ලකුණු 10 ක් ලබා ගනිමින් සිය ජය තහවුරු කර ගත්තා.