Tuesday, April 30, 2024

General line - 0115112241

අමෙරිකාව නිසා චීනය තායිවානය සමඟ යළි පැටලෙයි




චීනය සහ තායිවානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය යළි වර්ධනය වී තිබෙනවා.

ඒ, තායිවානයේ උප ජනාධිපති විලියම් ලායිගේ පැරගුවේ සංචාරයක් පදනම් කර ගනිමින්.

පැරගුවේ රාජ්‍යයේ ජනාධිපති සැන්ටියාගෝ පේනාගේ පදවි ප්‍රාප්තිය සඳහා තායිවානයටද නිල ආරාධනයක් ලැබී ඇති අතර ඒ සඳහා සහභාගී වන්නේ තායිවානයේ උප ජනාධිපති විලියම් ලායි.

ඒ අනුව, විලියම් ලායි පැරගුවේ රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු එම සංචාරය සිදු කරන්නේ අමෙරිකාව හරහායි.

විදෙස් මාධ්‍ය පවසන පරිදි තායිවාන උප ජනාධිපතිවරයා ඒ සඳහා ඊයේ නිව්යෝර්ක් නුවරට පැමිණ තිබෙනවා.

තායිවාන උප ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවරට පැමිණිම චීන විදේශ කටයුතු අමාත්‍යංශය තරයේ හෙළා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, යළි තායිවානය බලා පැමිණීමේදීද එරට උප ජනාධිපති විලියම් ලායි අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත පැමිණෙන බව වාර්තා වනවා.

මෙම සංචාරය සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටින චීනය තායිවානය ආසන්නයේ යුධ අභ්‍යාසයක් සිදු කිරීමට සැරසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේවෙතත් අමෙරිකාව මෙන්ම තායිවානයද පවසන්නේ විදෙස් සංචාරයකදී රටක් හරහා හුවමාරු වීම සාමාන්‍ය සිදුවීමක් බවයි.

එබැවින් චීනයට ප්‍රකෝපකාරී ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු හේතුවක් නොමැති බවද ඔවුන් සඳහන් කළා. 

කෙසේවෙතත් චීනය විසින් තායිවානය සලකනු ලබන්නේ සිය රටට අයත් භූමි ප්‍රදේශයක් ලෙසයි.

එබැවින් තායිවානය සහ අමෙරිකාව සබඳතා තරකර ගැනීම සම්බන්ධයෙන් චීනය දැඩිව විරෝධය පළ කරනවා.