අද පැවැසත්වෙන එල් පී එල් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, ගාල්ල කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 34 කින් ජයගැනීමත් සමගයි. කාසියේ වාසිය දිනාගත බී ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 07 ක් දැවී ලකුණු 157 ක් රැස් කළා.
එහිදී බී ලව් කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක වනිදු හසරංග පන්දු 30 කදී හයේ පහර 04 ක් සහ හතරේ පහර 03 ක් සමගින් ලකුණු 48 ක් රැස් කළා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 38 යි. පන්දු යැවීමේදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර සහ සොනාල් දිනූෂ කඩුළු 02 බැගින් දවා ගත්තා.
ලකුණු 158 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 08 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123 ක් පමණයි.
එහිදී ලිටන් දාස් ලකුණු 25 ක් සහ සොනාල් දිනූෂ ලකුණු 28 ක් රැස් කළා.
පන්දු යැවීමේදී බී ලව් කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුළු 2 බැගින් දවා ගත්තා.
ඒ අනුව අද පැවැත්වෙන එල් පී එල් අවසන් මහා තරගයේදී බී ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම තරග වැදිමට නියමිතයි.
අවසන් මහා තරගය අද රාත්‍රී 07 යි 30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.