Sunday, May 5, 2024

General line - 0115112241

වැග්නර් යෙව්ගනි ප්‍රිගොෂින් ගිය ජෙට් යානයේ කළු පෙට්ටිය සොයාගැනේ




රුසියාවේ කුලී හමුදාව වන වැග්නර් හමුදාවේ නායකයා වූ යෙව්ගනි ප්‍රිගොෂින් මියගිය බවට පැවසෙන ගුවන් අනතුර සම්බන්ධ ජෙට් යානයේ පියාසැරි රෙකෝඩරය හෙවත් කළු පෙට්ටිය සොයාගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි දත්ත සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට නියමිත බවයි. 

අදාළ ගුවන් අනතුර හේතුවෙන් මියගිය පුද්ගලයින් දස දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇතැයි අද උදැසන තහවුරු කෙරුණා. 

කෙසේවෙතත් ඒ අතර වැග්නර් හමුදාවේ නායකයා වූ යෙව්ගනි ප්‍රිගොෂින්ගේ මළසිරුර ඇත්දැයි මෙතෙක් තහවුරු කර නැහැ. 

විමර්ශකයින් පවසන්නේ මළසිරුරුවලට අදාළ අනුක ජාන පරීක්‍ෂණ දැන් සිදුකෙරෙමින් ඇති බවයි. 

කෙසේවෙතත් යානයේ තිබී හමුවූ පිලිස්සුනු මළ සිරුරු අතර තිබී ප්‍රිගොෂින්ගේ සිරුර ද හමුවී ඇති බවට තවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

ප්‍රිගොෂින්ගේ සිරුර බවට හඳුනා ගෙන ඇත්තේ ඔහුගේ අතේ ඇඟිල්ලකින් බවයි වාර්තා වන්නේ. 

මීට පෙර පැවැති ගැටුමකදී ප්‍රිගොෂින්ගේ වම් අතේ ඇගිල්ලකට අර්ධ වශයෙන් හානි සිදුව තිබී ඇති අතර එම ඇගිල්ලෙන් ප්‍රිගොෂින්ගේ මළ සිරුර හඳුනාගෙන ඇත්තේ ජ්‍යෙෂ්ඨ වැග්නර් අණදෙන නිලධාරියෙකු බවත් වාර්තා වනවා. 

ප්‍රිගොෂින්ගේ සමීපතම නිලධාරියෙකු ලෙස සැලකෙන වැග්නර් හමුදාවේ දෙවන අණදෙන නිලධාරී දිමිත්‍රි උට්කින්ගේ සිරුර ද සොයාගත් සිරුරු අතර ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සදහන්.