ශ්රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාලගේ සහ එම පාර්ශවයේ තවත් නාමයෝජනා 04ක් ප්රතික්ෂේප කර තිබෙනවා.
පාපන්දු නිලවරණ කමිටුව දක්ෂිත සුමතිපාලට සහය දක්වන ඉතිරි නාමයෝජනා 08 පමණක් අනුමත කර ඇති අතර ඒ අනුව නිලවරණයෙන් ජස්වර් උමාර්ගේ පාර්ශ්වයට වැඩි වාසි නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවද මෙම නාමයෝජනා ප්රතික්ෂේප කිරීමට එරෙහිව ලබන මස 03 වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව නිලවරණ කමිටුව අදාළ අපේක්ෂකයන්ට සලසා දී තිබෙනවා.
සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් දක්ෂිත සුමතිපාල, උපසභාපති තනතුරට නාමයෝජනා දුන් ටී.එල්. උඩුවර, විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නාලක දිසානායක, නිහාල් පෙරේරා හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්නගේ නාමයෝජනා මෙලෙස ප්රතික්ෂේප කර තිබෙනවා.
වාර්තා වන පරිදි මෙම නාමයෝජනා ප්රතික්ෂේප කිරීමට හේතුව වී ඇත්තේ අනුබද්ධිත පාපන්දු ලීග්වල වසර 04ක ක්රියාකාරීත්වයක් නොමැති බව තහවුරු වීමයි.
දක්ෂිත සුමතිපාලගේ පාර්ශ්වයේ අභියාචනාද ප්රතික්ෂේප වුවහොත් හිටපු සභාපති ජස්වර් උමර් නිතරගයෙන් සභාපති තනතුරට පත්වන අතර අනෙක් ප්රධාන තනතුරු 04ට ද නිතරග අවස්ථා හිමිවනවා.
නිලවරණ කමිටුව හිටපු සභාපති ජස්වර් උමර්ගේ නාමයෝජනා 13ම අනුමත කිරීම විශේෂත්වයක් වනවා.
නිලවරණ කමිටුවේ සභාපති ලෙස විශ්රාමික විනිසුරු යූ. එල්. අබ්දුල් මජීඩ් කටයුතු කරන අතර, සාමාජිකයින් ලෙස කටයුතු කරන්නේ විශ්රාමික විනිසුරු බන්දුල කේ. අතපත්තු සහ විශ්රාමික මේජර් ජෙනරාල් උපාලි ගුණසේකරයි.