Tuesday, May 14, 2024

General line - 0115112241

අවතැන්වන පලස්තීනුවන් භාර ගැනීම ඊජිප්තුව ප්‍රතික්ෂේප කරන ලකුණු




ගාසා යුද්ධයෙන් පීඩාවට පත්ව අවතැන්ව සිටින පලස්තීනු වැසියන් සිනායි අර්ධද්වීපය බලහත්කාරයෙන් රැඳවීම ඊජිප්තු ජනාධිපති ජෙනරාල් අබ්දෙල් ෆටා අල්සිසි ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගාසා ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අරාබි රටවල නායකයින්ගේ සහභාගීත්වයෙන් යුතුව ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී පැවැත්වුණු විශේෂ සමුළුවේදී ඔහු මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව, ඊජිප්තු ජනාධිපතිවරයා පවසන්නේ එකම විසඳුම වන්නේ පලස්තීනුවන් සඳහා ස්වාධින රාජ්‍යයක් හිමි වීම බවයි. 

ඊජිප්තු ජනාධිපතිවරයා මේබව පැවසුවේ යුද ගැටුම් පවතින ගාසා තීරයට අවශ්‍ය මානුෂිය ආධාර රැගත් ට්‍රක් රථ පෙළක් එරට රෆා දේශ සීමාව හරහා ගාසා තීරයට ඇතුලු වීමෙන් අනතුරුවයි.

යුධ ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සිට දකුණු ප්‍රදේශයට පලා ආ පලස්තීන වැසියන් දහස් ගණනක් මේවනවිටත් රෆා දේශ සීමාව ආසන්නයේ රැඳී සිටිනවා.

ඔවුන්ට ඊශ්‍රායලය මඟ හැර ගාසා තීරයෙන් පිටව යා හැකි එකම දොරටුව වන්නේ ඊජිප්තුවේ රෆා දේශ සීමාවයි.

එහෙත් සහන සේවා සඳහා දේශ සීමාව විවෘත කළ ඊජිප්තුව අවතැන් වූ පලස්තීන වැසියන් සිය රටට ඇතුළු කර ගන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.