Saturday, April 27, 2024

General line - 0115112241

රුසියාවේ කලබලයක් - යුදෙව්වන් සොයා පිරිසක් ගුවන් තොටක් වටලයි




සිය රටේ පුරවැසියන් සහ යුදෙව්වන් ආරක්ෂා කරන්නැයි ඊශ්‍රායලය රුසියාවෙන් ඉල්ලීමක් කරනවා.

ඒ රුසියාවේ ගුවන් තොටුපළක සිදුවූ කලහකාරී සිදුවීමක් හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි යුදෙව් විරෝධී සටන් පාඨ කියමින් විශාල පිරිසක් රුසියාවේ ඩැගෙස්තාන් ගුවන් තොටුපළට කඩා වැදී තිබෙනවා.

ඒ බව දැක්වෙන වීඩියෝපට සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ගුවන් තොටුපළට කඩා වැදුනු විශාල පිරිසක් ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර සිට පැමිණෙන ගුවන් යානයකින් එන මගීන් සොයමින් කෝපයෙන් කලහකාරීව ගුවන් තොටුපළ තුළ දිව යන ආකාරය එම වීඩියෝවල දැක්වෙනවා.

එලෙස ගුවන් තොටුපලට කඩා වැදුනු ඇතැමුන් සතුව පලස්තීන ධජය තිබෙන අයුරු ද දැක ගත හැකියි.

කලහකාරීව හැසිරුනු ඇතැම් පිරිස් ගුවන් පථයට දිව ගොස් ගුවන් යානා වට කර ගන්නා අයුරු ද අදාල වීඩියෝවල ඇතුළත් වනවා.

ඔවුන්ගෙන් ඇතැමෙකු යුදෙව් විරෝධී සටන් පාඨ කියූ අතර තවත් පිරිසක්  “අල්ලාහු අක්බර්” දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි යනුවෙන් පවසමින් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

ගුවන් තොටුපළට කඩා වැදුනු ඇතැමෙකු කාර්යය මණ්ඩලයෙන් යුදෙව්වන් සිටින්නේ කොහේදැයි අසමින් කලහකාරී ලෙස හැසිරී තිබුණා.

ඇතැමුන් ගුවන් තොටුපළට පැමිණෙන රථවාහනවල බාධා කරමින් ඒවා ද පරීක්ෂා කරන අයුරු එම වීඩියෝ පටවල දැකගත හැකියි.

පසුව රුසියානු ගුවන් සේවා ඒජන්සියක් පැවසුවේ ආරක්ෂක අංශ මැදිහත්වී තත්ත්වය පාලනය කළ බවයි.

අනතුරුව ඊශ්‍රායලයේ සිට උතුරු කොකේසස් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව වෙනත් නගර වෙත හරවා යැවීමට රුසියානු බලධාරීන් පියවර ගෙන තිබුණා.

ප්‍රාදේශීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් රුසියානු ප්‍රවෘත්ති ඒජන්සි පවසන්නේ කලහකාරී ලෙස හැසිරුනු හැට දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කලහකාරී තත්ත්වය හමුවේ පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අතර පොලිස් නිලධාරීන්ද වන බව සඳහන්. ඇතැමුන් බරපතළ තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.