Saturday, April 27, 2024

General line - 0115112241

ජපානයේ රෝහලක වෙඩි තැබීමක් - තැපැල් කාර්යාලයක් තුල දෙදෙනෙකු ප්‍රාණ ඇපයේ




ජපානයේ රෝහලක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ජපානයේ ‘ටෝඩා’ නගරයේ පිහිටි රෝහලක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ප්‍රහාරය සඳහා සැකකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් අවුරුදු 50ත් 70ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවටයි හදුනාගෙන ඇත්තේ.

වෙඩි තැබීමෙන් පසුව සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇති අතර ඔවුන් සොයා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ රෝහලේ සිටි වෛද්‍යවරයෙකු සහ වයෝවෘද්ධ රෝගියෙක්.

මේ අතර ජපානයේ ‘වරාබි’ ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයක් තුල පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රාණ ඇපයෙහි රඳවා ගෙන සිටිමේ පුවතක් පිළිබඳවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රෝහලේ සිදුවු වෙඩි තැබීම සහ තැපැල් කාර්යාලයේ සිදුවීම අතර සම්බන්ධයක් ඇත්දැයි බලධාරීන් මෙතෙක් තහවුරු  කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් ජපාන පොලිසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තාකර ඇත්තේ තැපැල් කාර්යාලය තුල දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේද රෝහල තුල වෙඩි තැබීම සිදුකල පුද්ගලයෙකු විසින් බවයි.

අදාළ තැපැල් කාර්යාලය ඉදිරිපිට ගිනි අවියක් අතැති පුද්ගලයෙකු සිටින අයුරු දැක්වෙන වීඩියෝ පටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රාණ ඇපයට ගෙනඇති දෙදෙනා 20 හැවිරිදි සහ 30 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු බවද වාර්තා වනවා. 

ජපානය යනු ප්‍රචණ්ඩක්‍රියා දුලබ රටක් ලෙසයි සැළකෙන්නේ.

එහෙත් මෑත කාලීනව ජපානයෙන් වෙඩි තැබීම් වලට අදාළ සිදුවීම් වාර්තාවීමේ ප්‍රවනතාවක් පවතිනවා.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂීං සෝ අබේ මිය ගියේද දේශියව නිපදවු ගිනි අවියකින් එල්ලකළ ප්‍රහාරයකින්.