Wednesday, May 15, 2024

General line - 0115112241

ගාසා සටන් විරාමය තවත් දින 02කින් දීර්ඝ කෙරේ




ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එළැඹි සටන් විරාමය තවත් දින දෙකකින් දිර්ඝ කර තිබෙනවා.

දෙපාර්ශවය විසින් ඉකුත් සිකුරාදා එම සටන් විරාමයට එළඹුනේ දින 04ක කාලයක් සඳහායි.

ඒ අනුව, ඊයේ දිනයෙන් සටන් විරාමය අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් සටන්විරාමය දීර්ඝ කිරීම සඳහා හමාස් සංවිධානයෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබූ අතර කටාරය ප්‍රමුඛ අරාබි රටවල් සහ අමෙරිකාවේ මැදිහත් වීමෙන් සටන් විරාමය දීර්ඝ කිරීමේ සාකච්ඡා පැවැත්වුණා.

ඒ අනුවයි ගාසා තීරයේ සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කර ඇත්තේ. සිව්දින සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙර එම තීරණයට එළඹි බවද කටාරයේ විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවති සටන් විරාම කාලය තුළ හමාස් සංවිධානය භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 69 දෙනෙකු මුදා හැර තිබෙනවා.

ඊශ්‍රායලය ද එරට සිටි පලස්තින සිරකරුවන් 150 දෙනෙකු මුදා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

දින දෙකකින් දීර්ඝ කළ සටන් විරාම කාලය තුළ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය තවත් ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් හුවමාරු කරගනු ඇතැයි අපේක්ෂිතයි.