Thursday, May 9, 2024

General line - 0115112241

පකිස්ථානයේ හමුදා කඳවුරකට ත්‍රස්ථ ප්‍රහාරයක්. 




පකිස්ථානයේ හමුදා කඳවුරක් ඉලක්ක කර ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එලෙස එල්ල වී ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවයි.  

ප්‍රහාරයෙන් පුද්ගලයින් 23 න් දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.

පකිස්ථානයේ කයිබර් පක් තුන් කාවා පළාතේ ඇෆ්ගන් දේශසීමාවට ආසන්න ප්‍රදේශයක පිහිටි හමුදා කඳවුරක් එලෙස ප්‍රහාරයට ඉලක්ක වි ඇති බවයි පැවසෙන්නේ.  

ප්‍රහාරයෙන් මිය ගිය බොහෝ පිරිසක් සිවිල් වැසියන්ගේ ඇඳුම් හැඳ සිටින පුද්ගලයින් බවත් ඔවුන් නිදා සිටි අවස්ථාවක ප්‍රහාරය එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය පැවසුවා.

එබැවින් මිය ගිය සියලු පුද්ගලයින් හමුදා සාමාජිකයින් දැයි තහවුරු කර ගැනීම බලධාරීන්ට අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස තාවකාලික හමුදා කඳවුරක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇත්තේ පාසල් ගොඩනැගිල්ලක්.

ප්‍රහාරකයින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථයක් ගොඩනැගිල්ලේ හප්පවා එය පුපුරා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක තලේබාන් සංවිධානයට සහය පළ කරන ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයක් විසින් ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇතැයි සඳහන්.