Monday, April 29, 2024

General line - 0115112241

තියුණු තරඟයකින් පසු ශ්‍රී ලංකාව පැරදූ සිම්බාබ්වේ දෙවන විස්සයි විස්ස තරඟය ජය ගනී




ශ්‍රී ලංකා පිල සමග පැවති දෙවන පන්දු වාර 20 - 20 තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරඟාවලිය 1- 1ක් ලෙස සම වුණා.  

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 දී කඩුලු 06කට ලකුණු 173ක් රැස් කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 39කදී ලකුණු 69ක් රැස් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් පන්දු 51කදී නොදැවී ලකුණු 66ක් රැස් කළා.

ලකුණු 27කට කඩුලු 4ක් බිද වැටී අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා පිලට ශක්තියක් වෙමින් මැතිව්ස් හා අසලංක 5වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක් රැස් කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ පිල අවසන් මොහොතේ තරඟය ජය ගත්තේ තරඟයේ තීරණය උඩුයටිකුරු කරමින්.

තරඟය ශ්‍රී ලංකා පිලට වාසිදායක ලෙස පැවති අතර අවසන් පන්දුවාරයේදී තරඟය ජය ගැනීමට සිම්බාබ්වේ පිලට ලකුණු 20ක් ලබා ගත යුතුව තිබුණා.

අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළේ ඇන්ජලෝ මැතිව්ස්.

අවසන් පන්දුවාරයේ පළමු පන්දුව නිපන්දුවක් වූ අතර ඊට 6 පහරක් එල්ල කළ සිම්බාබ්වේ පිතිකරුවන් මීලඟ පන්දු 02කදී තවත් ලකුණු 10ක් රැස් කරමින් තරඟයේ නොතිබූ ජයක් තමන් සතු කර ගැනීමට සිම්බාබ්වේ පිල සමත් වුණා. 

ඒ අනුව අවසන් පන්දු 04ට ලකුණු 03ක් පමණක් ඉතිරිව තිබියදී ලබා දුන් පහසු උඩපන්දුව ගිලිහී යාමත් සමග සිම්බාබ්වේ පිලට තරගයේ ජය පහසු වුණා.

සිම්බාබ්වේ පිල තරඟය ජය ගත්තේ කඩුලු 04කින්. මැතිව්ස් යැවූ අවසන් පන්දුවාරයේ පන්දු 05ට සිම්බාබ්වේ පිතිකරුවන් ලකුණු 24ක් රැස් කර ගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රෙග් එර්වින් ලකුණු 70ක් රැස් කළ අතර ලුක් ජොන්ග්වේ නොදැවි ලකුණු 25ක් රැස් කළා.