Sunday, September 8, 2024

General line - 0115112241

විදුලි ගාස්තුව සියයට 25 කින් පහළ දැමිය හැකි බව විද්වතෙකු කියයි




සිය අධ්‍යයනයට අනුව සියයට 25 ක් හෝ ඊට වැඩි අගයකින් විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලයට හැකියාව ඇති බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කළ ප්‍රතිශතයට එහා ගිය ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව  අඩු කිරීමට හැකියාව පවතින බවයි.


ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය ඔක්තෝම්බර් මස ගාස්තු ඉහළ දැමුවේ ලාභ  ලබමින් සිටි පසුබිමක් තුළ බවත් ඒ අනුව එම ලාභයද විදුලි පාරිභෝගිකයින්ට බෙදා දීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත යුතු බවයි බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව පැවසුවේ.


මේ අතර විදුලි ගාස්තුව සියයට 20කින් අඩු කිරීමට හැකි බව හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මීට පෙර ප්‍රකාශ කළා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ විදුලිබිල සියයට 300 කින් ඉහළ දැමීම හේතුවෙන් විදුලිබිල ගෙවීමට නොහැකිවූ පාරිභෝගිකයින් දස ලක්‍ෂ 60,000කගේ විදුලි සැපයුම විසන්ධි කිරීමට ගිය වසරේ කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා කියාසිටියා. 

    
ගෘහස්ථ, ආගමික ස්ථාන, සංචාරක හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා ඉකුත් ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි ගාස්තුව ඉවත් කිරීමට ඉදිරි කාලසීමාවේදී පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 18 කින් අඩුකරන බවයි අමාත්‍යවරයා එහිදි කියාසිටියේ.