කර්මාන්ත ක්ෂේත්රයට සහ සමාජයට ඇති වී තිබෙන පීඩනය සමනය කිරීම සඳහා වාරික පදනමින් හිග විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම මත මූලික අවස්ථාවේදී හිග ගාස්තුවෙන් සියයට 50ක් පමණක් අය කර ගනිමින් නැවත විදුලිය සම්බන්ධතා ලබා දීමට කටයුතු කළ යුතු බව නිර්දේශ කර තිබෙනවා.
ඒ, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
විදුලි බිල ඉහළ යාම හමුවේ දිවයින පුරා මේ වනවිට වාර්ථා වී ඇති විදුලිය සම්බන්ධතා කපා හැරීම් ලක්ෂ 10 ඉක්මවන බවයි එම කාරක සභාව පෙන්වා දී ඇත්තේ.
කර්මාන්ත ක්ෂේත්රයට සහ සමාජයට ඇති වී තිබෙන පීඩනය සමනය කීරීම සඳහා වාරික පදනමින් එලෙස හිඟ මුදල් ගෙවීමට අවස්ථාව සළසා දෙන ලෙසට නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතයි.
එමෙන්ම ස්ථාවර විදුලිය සම්බන්ධතා ලබා ගැනීමේදී ගෙවීමට සිදු වන ඉහළ ගාස්තු හේතුවෙන් ක්ෂුද්‍ර, සුළු සහ මූල්‍ය කර්මාන්ත ආරම්භ කිරීමට යොමු වන නව ව්‍යවසායකයන් අධෛර්යයට පත් වීම වැළැක්වීම සඳහා සම්බන්ධතා ලබා ගැනීමේ ගාස්තුව ද වාරික වශයෙන් ගෙවීමට පාරිභෝගිකයාට ඉඩ සලසන ලෙසත් එහිදී නියෝග කර තිබෙනවා.
නව සම්බන්ධතා ගාස්තුව සමාලෝචනය කර එය උපරිමයකින් අඩු කිරීමට කටයුතු කරන ලෙසට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කමිටුව නියෝග කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම බලශක්ති සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ප්‍රවේශයක් ලෙස රාජ්‍ය අංශයේ විදුලි පරිභෝජනය පිළිබඳව විගණනයක් සිදු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා මෙහිදී මහජන උපයෝගිතා කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර පවතින විදුලි බිල අවම වශයෙන් සියයට 20 ඉක්මවූ ප්‍රතිශතයකින් අඩු කළ යුතු බවටද ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර සංශෝධනය කෙරෙන විදුලි බිල සම්බන්ධයෙන් මෙම සතිය තුළදී ජනතාව දැනුවත් කිරීමට හැකි වනු ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.