Thursday, October 31, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් ගුවන් යානා 06 ක් අදත් අවලංගුයි




කටුනායක ගුවන් තොටුපොළෙන් අද අලුයම පිටත්ව යාමට නියමිතව තිබූ සහ පස්වරුවේ පිටත් වීමට නියමිත ගුවන් යානා 07ක ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

ඉන් ගුවන් යානා 06ක්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බවයි කටුනායක ගුවන් තොටුපළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානය පැවසුවේ.

එම ගුවන් යානා  ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

අද අලුයම අවලංගු වී ඇත්තේ ඉන්දියාවේ බැංගලොර්, තායිලන්තයේ බැංකොක් සහ ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 04ක්.

එමෙන්ම ඉන්දියාවේ මුම්බායි, සෞදි අරාබියේ දමාම් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර බලා  අද පස්වරුවේ පිටත් වීමට නියමිත ගුවන් ගමන් වාර 03ක්ද අවලංගු වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 06ක් අද දිනයේදී  අවලංගු වී ඇති බව ප්‍රකාශයට පත් වී තිබුණ ද, එම ගුවන් ගමන් අවලංගු වීම් නොව ප්‍රමාද වීම් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පවසනවා.

එහෙත් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසූවේ එම ගුවන් යානා සියල්ල ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් අවලංගු කර ඇති බවට දැනුම් දී ඇති බවයි.

එමෙන්ම අදාළ ගුවන් යානා නැවත පිටත්ව යන වේලාවක් පිළිබඳව  ද තමන් දැනුවත් කර නොමැති බව ද ඇය පවසා තිබෙනවා.