Friday, January 3, 2025

General line - 0115112241

   ඉතිහාසගත මුදල් ඇමති රොනී ද මෙල් අභාවප්‍රාප්ත වෙයි



මෙරට දේශපාලන ඉතිහාසයේ නම් දැරූ චරිතයක් වන හිටපු මුදල් අමාත්‍යවරයයෙකු වූ රොනී ද මෙල් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඒ, ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඒ වන විට ඒ මහතාගේ වයස අවුරුදු 99 ක්.

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් මහතා 1977 සිට 1988 දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

දැඩි ආන්දෝලනයකට තුඩු දෙමින් මෙරටට නිදහස් වෙළෙඳ ආර්ථිකය හඳුන්වා දීමේ පුරෝගාමියා වූයේ ද ඔහුයි.

හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් ආර්ථික තීන්දු රැසක පිටුපස සිටි දැවැන්ත චරිතයක්වූ රොනී ද මෙල් මහතා සිවිල් සේවා නිලධාරියකු ලෙස ද අමාත්‍යාංශ රැසක ඉහළ තනතුරු හොඹවා තිබෙනවා.

සිවිල් සේවයට සම්බන්ධ වී විවිධ තනතුරු දරා විශ්‍රාම යෑමෙන් අනතුරුව ඔහු දේශපාලනයට පිවිසියා.

1964 වසරේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඔහු 1965 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිබිල ආසනයට මහමැතිවරණයෙන් තරඟ කර පරාජයට පත්වනවා.

පසුව ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1970 වසරේ දෙව්නුවර ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරඟවැදීමෙන් පසුවයි. 

රොනී ද මෙල් මහතාගේ පෙරළිකාර මැතිවරණ පිල් මාරුව වූයේ 1977 දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේවනුවර ආසනයට ම තරඟවැද පාර්ලිමේන්තුවට තේරී පත්වීමයි.

අනතුරුව රොනී ද මෙල් මහතා 2004 වර්ෂය දක්වා වරින් වර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

ඉතිහාසරගත චරිතයක් වන ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් පාර්ලිමේන්තුවට අයවැය 11ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු සැලකෙන්නේ වැඩිම අයවැය ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට එකම මුදල් අමාත්‍යවරයා ලෙසයි.

මෙරට ඉතිහාසයේ වැදගත් සංදිස්තාන වන වික්ටෝරියා, රන්දෙනිගල, කොත්මලේ ව්‍යාපෘති මෙන්ම වරාය, මහා මාර්ග, නිවාස සහ නිදහස් වෙළෙඳ කලාප වැනි ව්‍යාපෘති සඳහා මුදල් සොයා දීමේ ප්‍රමුඛතම පුද්ගලයෙකු වූයේ රොනී ද මෙල් මහතායි.

එමෙන්ම 1983 වර්ෂයේ ජුලි මාසයේ මෙරට ඇතිවූ නොසන්සුන් තත්ත්වය  මැඩ පැවැත්වීමේදී ද ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකු ලෙසයි සැලකෙන්නේ.

රොනීද මෙල් මහතා දියණියන් තිදෙනෙකුගේ පියෙක්.

රොනීද මෙල් මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.