Saturday, April 27, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය ගැන කියූ දේ පිළිබඳ මෛත්‍රීගෙන් CID ය හෙට ප්‍රකාශයක් ගන්නා බව පොලිස්පති කියයි




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෙට දිනයේදී ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇතැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉකුත් දා සිදුකළ ප්‍රකාශය පිළිබඳ බවයි පොලිස්පතිවරයා පැවසුවේ.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක්  සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිලිබදව වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝග කර තිබෙනවා.

ඒ අනුවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෙට දිනයේදී ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව ඇත්තේ. 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරන ලෙස අධිකරණය නියෝගයක් ලබා දෙන්නේ නම් පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බවයි ඔහු එහිදී පැවසුවේ.