Sunday, April 28, 2024

General line - 0115112241

නෙත් නිවුස් හෙළිකළ හඬපටයෙන් පසු අගලවත්ත පොලිස් ස්ථානාධිපතිගේ සේවය අත්හිටුවයි




පාතාල සාමාජිකයින් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති අගලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  තරිඳු රුවන් හෙට්ටිආරච්චිගේ සේවය අත්හිටුවීමට ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර තිබෙනවා.

ඒ, පොලිස්පතිවරයා කළ නිර්දේශයකට අනුවයි. පාතාල සාමාජිකයෙකු බව පැවසෙන ඇල්ටෝ ධර්මේ නමැත්තා සහ අගලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තරිඳු රුවන් හෙට්ටිආරච්චි අතර පැවති දුරකතන සංවාදයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා නියෝග කළා. අදාළ නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇත්තේ එම විමර්ශනයට අදාළවයි.  


මෙම වැඩ තහනමට ලක්කිරීම සම්බන්ධයෙන් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයි බී ටී සුගතපාල විසින් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ ඒ කාවින්ද පියසේකර වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ වැඩ තහනම් නියෝගය අගලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තරිඳු රුවන් හෙට්ටිආරච්චි වෙත අප්‍රමාදව භාර දීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම පුරප්පාඩු වූ අගලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුර සඳහා ස්ථානාධිපති වරයෙකු පත්කරන තෙක් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ වැඩ බැලීම සදහා සුදුසු නිලධාරියෙකු නම් කරන ලෙසත් අදාළ ලිපියේ සඳහන් වනවා. 


එමෙන්ම, ඊට අදාළ ආකෘති ප්‍රකාර වාර්තාවක් අද උදෑසන 08ට පෙර තමන් වෙත ඉදිරිපත් කරන ලෙසයි කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෙත යොමු කළ ලිපියේ වැඩිදුටත් දැක්වෙන්නේ.


පාතාල සාමාජිකයින් සමග සෘජු සම්බන්ධතා පවත්වන බව පැවසෙන ඇල්ටෝ ධර්මේ නමැත්තා සහ අගලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ආර් හෙට්ටිආරච්චි අතර පැවති දුරකතන සංවාදය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේද ඇතුළත්.

එම හඬපටය සම්බන්ධයෙන් ජනතාව අතරද දැඩි කතාබහක් මතු වුණා. ඒ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ද අවධානය යොමුවන්නේ ඒ අනුවයි.

අගලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තරිඳු රුවන් හෙට්ටිආරච්චි, ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී මෙම දුරකතන සංවාදය පවත්වා ඇති බවයි නෙත් නිවුස් අනාවරණ කළේ.