Tuesday, April 30, 2024

General line - 0115112241

තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළි වේ

සම්පත් කුලරත්න




හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණේ කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදීයි.

ඒ, කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ එම් ටී බී ගුණතිලකගේ ප්‍රධානත්වයෙන්.

පාලිත තෙවරප්පෙරුම මහතා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව, කරම්පෑතර පිහිටි ස්ථානය කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ එම් ටී බී ගුණතිලක නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන අමිතා නාලිංගනී අමරතුංග විසින් කළුතර ශික්ෂණ රෝහලේදී මෘත දේහය හඳුනාගෙන තිබෙනවා. 

අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ඔහු අනතුරට ලක් වූ ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර, මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින්ද ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3යි 30ට පමණ මෘත දේහය කළුතර පිහිටි මල් ශාලාවක් වෙත රැගෙන ගියා. 

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් දොඩංගොඩ සහ යටදොළවත්ත ඇතුළු ප්‍රදේශවල මග දෙපස සුදු කොඩිවලින් සහ ශෝක ප්‍රකාශිත බැනර්වලින් අලංකාර කර තිබූ අතර, විශාල පිරිසක් මතුගම, යටදොළවත්ත නිවසට පැමිණෙමින් සිටින අයුරුද දැකගත හැකි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ, පාලිත තෙවරප්පෙරුම මහතාගේ නිවසේ සිට පවතින තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් වාර්තාකරු සම්පත් කුලරත්න ගෙන එන වාර්තාවක්.