Wednesday, May 1, 2024

General line - 0115112241

තෙවරප්පෙරුමගේ මරණය ගැන සැකයක් - පොලිස් අංශ දෙකකින් පරීක්ෂණ

සම්පත් කුලරත්න




හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳ පොලිස් කණ්ඩායම් 02ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ, මතුගම පොලීසිය සහ කළුතර විශේෂ විමර්ශන ඒකකය විසින්. 

මෙහිදී පොලිස් කණ්ඩායම්වල සැකයට තුඩු දී ඇති කාරණය වන්නේ ඌරන් මැරීම සඳහා වෙනත් පුද්ගලයෙකු අනවසරෙන් අදින ලද විදුලි රැහැනක් මරණයට හේතුවූයේද? යන්න පිළිබඳවයි.

මීට පෙරද මෙම ඉඩම තුළ ඌරන් මැරීම සඳහා අනවසරෙන් විදුලි රැහැනි ඇද තිබූ බවටයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

මෙම ඉඩම වටා ආරක්ෂිත වැටක් නොමැති බැවින් ඕනෑම අයෙකුට ඊට ඇතුළු වීමට අවස්ථාව ඇති බව පොලීසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේ අකුණු සහිත කාලගුණයක් පැවති බැවින් එවන් අවස්ථාවක විදුලි රැහැන් සම්බන්ධ කටයුත්තකට පැලිත තෙවරප්පෙරුම මහතා සම්බන්ධ වීමට ඉඩක් පවතින්නේදැයි ද පොලීසියේ සැකයට හේතු වී තිබෙනවා.

කෙසේවෙතත් පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වූයේ විදුලි සැර වැදීමෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදු වූ හානි හේතුවෙන් මරණය සිදු වී ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ දේහය ඊයේ පස්වරුවේම ඥාතීන් වෙත භාර දුන්නා. දේහය අවසන් ගෞරව සඳහා නිවසට රැගෙන ආවේ ඊයේ රාත්‍රියේයි. 

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් දොඩංගොඩ සහ යටදොළවත්ත ඇතුළු ප්‍රදේශවල මග දෙපස සුදු කොඩිවලින් සහ ශෝක ප්‍රකාශිත බැනර් සවි කර අතර, විශාල පිරිසක් මතුගම, යටදොළවත්ත නිවසට පැමිණෙමින් සිටින බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ආවේ ඊයේ රාත්‍රියේ 10ට පමණයි.

ඒ මොහොතේ සිට මේ දක්වාම විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටින බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

මේ, දේහය තැන්පත් කර ඇති නිවාස පරිශ්‍රයේ සිට නෙත් නිවුස් වාර්තාකරු සම්පත් කුලරත්න ගෙන එන වාර්තාවක්.


අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.