Thursday, May 2, 2024

General line - 0115112241

 මතභේදයට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

උදය කුමාර




මතභේදයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකොට මිලදී ගැනීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන්න ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින්. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු එහි හිටපු නිලධාරීන්, භාණ්ඩාගාර ලේකම්වරයා, පොලිස්පතිවරයා, අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු ඇතුළු 66 දෙනෙකු නම් කර තිබෙනවා. 

පෙත්සම්කාර ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය කියා සිටියේ ප්‍රශ්න ගත ඖෂධ මිලදී ගැනීමේදී වගඋත්තරකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටියක් අනුගමනය කර නොමැති බවයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම මහජනතාවටද දැඩි අගතියක් සිදුවී ඇති බවත් එම පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී මූල්‍යමය හෝ වෙනත් වාසි ලබාගත් පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා විමර්ශනයක් සිදු කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඊට අමතරව මෙම ක්‍රියාවට වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් වන්දි  අය කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර එම සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.