Thursday, May 2, 2024

General line - 0115112241

චීනයේ ණය උගුලට මාලදිවයිනත් හසුවෙයි




මාලදිවයිනේ ජනාධිපති මොහමඩ් මුයිසුගේ පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඒ ඔහුගේ දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තිය සහ මාලදිවයින ණය උගුලක සිරවී තිබීම හේතුවෙන්.

ජනාධිපති මොහමඩ් මුයිසුගේ පාලන තන්ත්‍රය හමුවේ මාලදිවයිනට ණය උගුලකට හසුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
පවතින තත්ත්වය හමුවේ පොලිස් සහ හමුදා වැටුප් වැඩි කිරීම වැනි තීරණාත්මක සමාජ වගකීම් ප්‍රමාද කිරීමටද රජයට සිදුව ඇතැයි සඳහන්.

මාලදිවයිනේ ප්‍රමුඛතම ණය හිමියා වන්නේ චීනයයි.

ඒ අනුව මාලදිවයිනේ රාජ්‍ය විදෙස් ණය ප්‍රමාණයෙන් සියයට 42 ක පමණ ණය හිමිකරු චීනය බව ලෝක බැංකුව පවසනවා.

එම ප්‍රමාණය මුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 1.37 ක්.

එවන් පසුබිමක් තුළ මොහමඩ් මුයිසුගේ පාලනය යටතේ මාලදිවයින තවදුරටත් චීනයේ ණය උගුලට හසුවන බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයාගේ අදූරදර්ශි තීරණ හා ප්‍රතිපත්ති මාලදිවයිනේ ස්වෛරීභාවය සහ ආර්ථික ස්වාධීනත්වය අනතුරේ හෙළා ඇති බවයි ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන්නේ.

මාලදිවයිනේ නිල සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කෙරෙන පරිදි මෙම වසරේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 550 ක අයවැය හිඟයක් පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම 2026 වසර වනවිට දී මාලදිවයින අමෙරිකානු ඩොලර් බිලියන 1.37 ක් ඉක්මවන චීන ණය  ද ආපසු ගෙවිය යුතුව තිබෙනවා.

ඒ හමුවේ ජනාධිපති මොහොමඩ් මුයිසු මේවනවිට ණය කල් දැමීම සහ කපාහැරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින් ඉල්ලීම් කර ඇතැයි ද සඳහන්.

චීනය සමග වර්ධනය කර ගත් හොඳ හිත නිසා මොහොමඩ් මුයිසු ඉන්දියාව සමග විරසක වුණා.

එහෙත් පවතින ණය බර හේතුවෙන් මාලදිවයින ඉන්දියාවේ පිහිට පතන බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

එහි ප්‍රතිපලයක් ලෙස ජනාධිපති මොහොමඩ් මුයිසු ඉකුත් දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියේ ණය කපා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

මෙවැනි ක්‍රියා හමුවේ මුයිසුගේ පාලන තන්ත්‍රයේ මංමුලා සහගත බව පැහැදිලි වන බව ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙනවා.

මාලදිවයිනේ මෙම ණය උගුලට ප්‍රධාන හේතුව වී ඇත්තේ චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය බවයි පැවසෙන්නේ.

ඊට මුවාවී චීනය මාලදිවයින තුළ ගොඩනගා ඇති අසාර්ථක චීන යටිතල පහසුකම්, පාලම්, ප්‍රයෝජනයට නොගත් ගුවන් තොටුපල සහ මාලදිවයින් වැසියන් දුප්පතුන් බවට පත් කර ඇති කෘතිම දූපත් ණය උගුලක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා පෙන්වා දෙන්නේ.

මාලදිවයිනේ අතිවිශිෂ්ට සෞඛ්‍ය ආවරණය විදේශ රටවලට ව්‍යාප්ත කිරීම සහ දැරිය හැකි මිලකට ඉන්දියානු විකල්ප තිබියදීත් අධික මිලකට යුරෝපීය ඖෂධ ආනයනය කිරීම වැනි අනවශ්‍ය වියදම් ද මුයිසුගේ පාලනය යටතේ ගෙන ඇති තීරණයි.

මුයිසු පාලනය යටතේ මාලදිවයිනේ මහා භාණ්ඩාගාරය ද අර්බුධයකට ඇද වැටී ඇතැයි වාර්තා වනවා.