Saturday, May 4, 2024

General line - 0115112241

IPL පිටියේ වාර්තා අලුත් වෙයි 




IPL ක්‍රිකට් තරගාවලිය මේවන විට ‌ලොව පුරා දැඩි අවධානයක් යොමුව ඇත්තේ මෙවර තරගාවලියේදී ලෝක ක්‍රිකට් ඉතිහාසයට අලුත් වාර්තා එක්වීම හේතුවෙන්. 

එය තවමත් අවසන්ව නොමැති අතර මෙවර තරගාවලියේදී වාර්තා පිට වාර්තා තබන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ රාත්‍රියේ තවත් ලෝක වාර්තාවක් බිහිකලා. 

ඒ, කිසියම් කණ්ඩායමක් පන්දුවාර 20 තරගයක පවර් ප්ලේ අවස්ථාවේ එනම් පළමු පන්දුවාර 06 තුල ලකුණු 125ක් රැස් කරමින්. 

මෙලෙස බිද දැම්මේ 2017 වසරේ ලකුණු 106ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාවක්.

සන්රයිසස් කණ්ඩායම මෙලෙස ලෝක වාර්තාවක් බිහිකලේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිවයි. 

එහිදී ට්‍රැවස් හෙඩ් පන්දු 32කදී හයේ පහර 6ක් සමග ලකුණු 89ක් රැස් කලා. 

අභිෂේක් ෂර්මා පන්දු 12කදී හයේ පහර 06ක් සමග ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා. 

මෙම තරගයේදී සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07කට ලකුණු 266ක් රැස් කලා.

එය අයි පී එල් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩාමක් රැස් කල සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

මෙවර තරගාවලියේදී අයි පී එල් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩාමක් රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව දෙවරක් බිද දැමූ අතර එය සිදු කලේද සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වීම විශේෂත්වයක්. 

එමෙන්ම මෙහිදී සන්රයිසස් කණ්ඩායම සිය ලකුණු 100 වාර්තා කලේ පන්දුවාර 4යි පන්දු පන්දු 06කදීයි. 

එයත් ලෝක වාර්තාවක් වන අතර එය වාර්තා පොත් අතරට එක්වුණේ කණ්ඩායමක් පන්දුවාර 20 තරගයක ලකුණු 100ක් රැස් කිරීම සදහා භාවිත කල අඩුම පන්දු සංඛ්‍යාව ලෙසයි. 

එමෙන්ම ඔවුන් සිය ලකුණු 150 වාර්තා කලේ පන්දුවාර 8යි පන්දු 04කදීයි. 

එයද කණ්ඩායමක් අඩුම පන්දු සංඛ්‍යාවකින් ලකුණු 150ක් වාර්තා කල ලොව පළමු අවස්ථාවයි.

මීට අමතරව පවර් ප්ලේ අවස්ථාවේදී සන්රයිසස් කණ්ඩායම හතරේ පහර 24ක් එල්ල කල අතර එය පන්දුවාර 20 තරගයක කිසියම් කණ්ඩායමක් පවර් ප්ලේ අවස්ථාවේ රැස්කල වැඩිම හතරේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාව වනවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල දිල්ලි කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 199ක් පමණයි. 

එහිදී දිල්ලි ක්‍රීඩකයින්ද සිය පළමු පන්දුවාර 6, එනම් පවර් ප්ලේ අවස්ථාවේදී ලකුණු 88ක් රැස් කල අතර කණ්ඩායම් දෙකම පවර් ප්ලේ අවස්ථාවේදී රැස්කර ඇති මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 213ක්. 

එයද ලෝක වාර්තා පොත් අතරට එක්වුණේ කිසියම් තරගයක කණ්ඩායම් දෙකම පළමු පවර් ප්ලේ අවස්ථාවේදී රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මෙම තරගයේන් සන්රයිසස් කණ්ඩායම ලකුණු 67ක ජයක් වාර්තා කලා