Sunday, September 8, 2024

General line - 0115112241

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමත් වුණා.

සම සත්කාරකත්වය දරණ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයගනු ලැබුවේ කඩුලු තුනකින්.

ඒ, ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුවයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 135ක් රැස්කළා.

රොස්ටන් චේස් ලකුණු 52යි. පන්දු යැවීමේදී ටබ්රයිස් ශම්සි ලකුණු 27කට කඩුලු 03ක් බිඳ හෙලුවා.

ජයග්‍රාහී ලකුණු 136ක ඉලක්කයක් හඹා යාමට දකුණු අප්‍රිකානු කණ්ඩායම පිටියට පිවිසිය ද දෙවන පන්දු වාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන පන්දු වාරය අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටියා.

ඉන් අනතුරුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරගය ජය ගැනීමට පන්දුවාර 17කදී ලකුණු 123ක ඉලක්කයක් හිමි වුණා.

පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 124ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගය ජයගනු ලැබුවා. ටි්‍රස්ටන් ස්ටබ්ස් ලකුණු 29යි. 

මේ අතර එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 10කින් ජය ගනිමින්. 

තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 115ක් පමණයි. නිටිෂ් කුමාර් ලකුණු 30යි.

පන්දු යැවීමේදී ක්‍රිස්ටෝපර් ජෝර්ඩන් පන්දුවාර 02යි පන්දු 05ක් අවසානයේ ලකුණු 10ක් පමණක් ලබා දෙමින් කඩුලු 04ක් බිඳහෙලුවා.

ජයග්‍රාහී ලකුණු 116ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 09යි පන්දු 04ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 117ක් රැස්කරමින් තරගය ජය ගත්තා.

නායක ජෝස් බට්ලර් පන්දු 38කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 83ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 06ක් සහ හයේ පහර 07ක් ඇතුළත් වුණා.

පිලිප් සෝල්ට් ලකුණු 29යි.