Sunday, June 30, 2024

General line - 0115112241

ජනපති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ  දකී




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා.

පසුව ජනාධිපතිවරයා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවවේ ශ්‍රී සුමංගල මහනාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

එහිදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ මහනාහිමිවරුන් දැනුවත් කළ ජනාධිපතිවරයා මහනුවර නගර සංවර්ධන සැලැස්ම ද මහනාහිමිවරුන් වෙත පිළිගැන්වුවා.

මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර, කටුකැලේ සෙල්වම් විනයාගර් හින්දු කෝවිල වෙත පැමිණි අතර එස්. ක්‍රිෂ්නමුර්ති පූජකතුමා එහිදී ආගමික වතාවත් සිදු කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

ඉන් අනතුරුව මීරම් මක්කම් මුස්ලිම් දෙවස්ථානය වෙත ද පැමිණි ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත් අතර ඕ.එල්.එම්. තාසීම් මවුලවීතුමා එහිදී විශේෂ යාඥා මෙහෙයක් සිදු කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  වජිර අබේවර්ධන, මහින්දාන්නද අලුත්ගමගේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.