Friday, October 18, 2024

General line - 0115112241

ජනපති සහ බැසිල් අතර සාකච්ඡාවක් විසඳුමකින් තොරව අවසන් වෙයි




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවක් විසඳුමකින් තොරව අවසන්ව ඇති බවට වාර්තා වනවා.

එම සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව හා ගොඩනැගෙන්නට නියමිත සන්ධානය පිළිබදව ඔවුන් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම පලාත් පාලන ආයතන සඳහා සියයට තිහක්, පළාත් සභා සඳහා සියයට තිස් පහක් හා පාර්ලිමේන්තුව සඳහා සියයට හතළිහක් බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බවට ජනාධිපතිවරයා විසින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට දැනුම් දී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

එහෙත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එම අවස්ථාවේ අදාළ මන්ත්‍රී කෝටාවට එකඟ වී නොමැති බවද වාර්තා වුණා. ඒ අනුව පළාත් පාලන ආයතන සදහා සියයට අනූවක්, පාර්ලිමේන්තුව සඳහා සියයට හැත්තෑවක් සහ පළාත් සභා සඳහා සියයට හැත්තෑවක් අවශ්‍ය බවට දැනුම් දී තිබෙනවා. 

ඒ අනුව එම සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇති අතර හෙට දිනයේ යළි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.