Tuesday, September 17, 2024

General line - 0115112241

දෙවන ටෙස්ට් තරගයේ පරාජය ශ්‍රී ලංකාවට හිමි වෙද්දී තරගාවලියේ ජය එංගලන්තය දිනා ගනී




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.    

ඒ, තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීයි.

දෙරට අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්ත ජයගනු ලැබුවේ ලකුණු 190කින්. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස් කළා.

ජෝ රූට් ලකුණු 143ක් සහ ගස් ඇට්කින්සන් ලකුණු 118ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 05ක් බිඳ හෙලුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 196ක් පමණයි.

කමිඳු මෙන්ඩිස් ලකුණු 74ක් රැස් කළා.

සෙසු ක්‍රිඩකයින් කිසිවෙකුටත් පළමු ඉනිම සඳහා ලකුණු 24 සීමාව පසුකර යාමට නොහැකි වුණා.

ඉන් අනතුරුව යළිත් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කළා.

ජෝ රූට් ලකුණු 103යි. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 483ක දැවැන්ත ඉලක්කයක් හිමි වුණා. 

කෙසේවෙතත් දෙවෙනි ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 292ක් පමණයි.

දිනේශ් චන්දිමාල් ලකුණු 58ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 55ක් රැස් කළා. නායක ධනංජය ද සිල්වා ලකුණු 50යි. 

ඒ අනුව දෙරට අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 190කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩාය සමත් වුණා.

පළමු ඉනිමේදී ලකුණු 118ක් සහ තරගය පුරා කඩුලු 07ක් බිඳ හෙලූ ගස් ඇට්කින්සන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඕවල්හීදී ලබන 06 වනදා ආරම්භ වීමට නියමිතයි.