Monday, September 23, 2024

General line - 0115112241

නව ජනපති අනුර ගැන නෙත් නිවුස් තබන සටහනක්




මාතලේ, දේවහූව ග්‍රාමයේදී 1968 වසරේ නොවැම්බර් 24 වනදා උපත ලබන අනුර කුමාර දිසානායක පවුලේ දෙවැනියා වනවා.

තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ඔහු ඉන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කෙරෙනවා.

එහිදී උසස් පෙළ විභාගයට පෙනී සිටින අනුර කුමාර  දිසානායක  සරසවි වරම් හිමි කර ගනිමින් ඇතුළත් වන්නේ කැළණිය විශ්ව විද්‍යාලයටයි.

බෞද්ධ සංගමයේ සභාපතිවරයා වූ ඔහු දේශපාලන කටයුතුවලද නිරත වනවා.

සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූ පවුලකට අයත් නොවූ ඔහු විවිධ දුෂ්කරතා දරා ගනිමින් ඉදිරියට පැමිණීම හේතුවෙන් ජනතාවගේ ජනාදරයට පාත්‍ර වුණා.

1987 වසරේදී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමට එරෙහිව ගොඩ නැගුණු මහජන විරෝධතාවලට දායකත්වය දැක්වූ අනුර කුමාර දිසානායක සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු බවට පත් වුණා.

1997 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තෝරාපත් කර ගන්නා ඔහු 1998 වසරේදි එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් කර ගනු ලබනවා.

අනුර කුමාර දිසානායක මහතා දේශපාලනයට ප්‍රවේශයක් ලබා ගනිමින් 1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයට මධ්‍යම පළාත සදහා ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙසින් තරග වැදුනා.

පළමු වරට ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2000 වසරේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.

2004 වසරේ යළි පාර්ලිමේන්තුවට පිවිසෙන අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්,  වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

2014 වසරේ පෙබරවාරි 2 වනදා පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණේ 7 වෙනි ජාතික සම්මේලනයේදී එම පෙරමුණේ නායකත්වය ඔහුට හිමි වනවා.

2015 වසරේ සිට 2018 වසර දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ද හෙබවූ ඔහු ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ,  සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජනබලවේගය ආරම්භ කළේ නැවුම් දේශපාලන ප්‍රවේශයක් සනිටුහන් කරමින්.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද හාරලක්ෂ දහඅටදහස් පන්සිය පනස් තුනක් ලබා ගත්තා.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ද යළි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා 2021 වසරේ දෙසැම්බර් 20 වනදා පැවැත්වූ ජාතික ජනබලවේගයේ පළමු සමුළුවේදීම එහි නායකත්වයට පත්කර ගනු ලැබුවා.

ජනතා ගැටළු මනාව හදුනා ගත් අනුර කුමාර දිසානායක මහතා ඔවුන් ඉන් මුදවා ගන්නා සැලැස්ම පසුගිය කාලය පුරා ජනතාව හමුවේ ප්‍රකාශ කළා.

ඔහු ලබාදුන් පණිවිඩය මනාව වටහාගත් ජනතාව අනුර කුමාර දිසානායක මහතාට නව වන විධායක ජනාධිපති ධුරයට භාරදීමට සිය වගකීම ඉටුකළා.