Tuesday, September 24, 2024

General line - 0115112241

නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙන බව අධිකරණයේදී තහවුරු වෙයි

උදය කුමාර




පසුගිය යහපාලන රජය සමයේ ගොනු කෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට නොවැම්බර් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ පැමිණිලිකරු වන විජිත හේරත් මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටියා. 

එම අවස්ථාවේදී විජිත හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් දිවුරුම් දීමට ඇති නිසා සාක්ෂි දීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය විජිත හේරත් මහතාට සාක්ෂි දීම සඳහා යළි නොවැම්බර් මස 29 වනදා පෙනී සිටින ලෙස නියෝග කළා. 

2010 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතුවල දී පුද්ගලික සමාගමක් සමඟ ඇති කර ගත් එකඟතාවයෙන් රුපියල් මිලියන 64ක මුදලක් රජයට පාඩු කළේ යැයි, චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.