Tuesday, September 24, 2024

General line - 0115112241

මන්කි පොක්ස් වෛරසයේ නව ප්‍රභේදය වැළදුණු ආසාදිතයෙක් ඉන්දියාවෙන් පළමුවරට හඳුනාගැනේ




ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම්කළ මන්කි පොක්ස් වෛරසයේ නව ප්‍රභේදය වැළදුණු ආසාදිතයෙක් ඉන්දියාවෙන් පළමුවරට හඳුනාගෙන තිබෙනවා.

වෛරසය ආසාදනය වූ  පුද්ගලයා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ 38 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉන්දියාවට සංචාරය සඳහා පැමිණි අයෙක් බවද සඳහන්.

ඔහු මේ වන විට කේරළයේ රජයේ වෛද්‍ය විද්‍යාල රෝහලක ප්‍රතිකාර ලබනවා.

එම රෝගියා එම්පොක්ස් 1 ඊ කාණ්ඩයේ පළමු අදියරේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි අදාළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

එම්පොක්ස් වෛරසය වැළඳුනු එම රෝගියාගේ පවුලේ සාමාජිකයින් 29 දෙනෙකු සහ ඔහු සමඟ ගුවන් යානයේ පැමිණි මගීන් 37 දෙනෙකු ද  එම්පොක්ස් වෛරස් පරික්ෂාවකට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් කිසිවෙකු මේ දක්වා එම්පොක්ස් රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බවයි වාර්තා වන්නේ.