Thursday, November 28, 2024

General line - 0115112241

ජනපති ලේකම් කාර්යාලය අසල නවතා ඇති වාහන ගැන විමර්ශනයක්




රජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, වත්මන් ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු අමාත්‍යංශය තුළ සිදුකර ඇති වෙනස්කම් හේතුවෙන් ඉකුත් ආණ්ඩු සමයේ අමාත්‍යංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් විසින් පරිහරණය කරන ලද සුඛෝපභෝගී රථ වාහන රැසක් නිසි ක්‍රමවේදයකින් තොරව රැගෙන විත් ගාලුමෝදර බාල දක්ෂ මාවත අසල නවතා තැබීම හේතුවෙන්.    

මේ අතර, ජනාධිපති කාර්යාලයට අයත් වාහන 29ක් 2022 වසරේ සිට අතුරුදන් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

එමෙන්ම වෙනත් පාර්ශව විසින් භාවිත කළ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 253ක් මේ වන විට ඔවුන් විසින් ගෙනවිත් දමා ඇති බවයි වසන්ත සමරසිංහ මහතා පැවසුවේ.

සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරු පරිහරණය කරන ලද වාහන සහ මැති ඇමතිවරු විසින් පරිහරණය කරන ලද වාහන වර්තමාන රජය පත් වීමත් සමග නීත්‍යානුකූලව එම ස්ථානයට රැගෙන විත් ඇති බවයි හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ. 

 

>