Friday, September 27, 2024

General line - 0115112241

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන වැල්ලේ සාරංග ඩුබායිහිදී අත්අඩංගුවට




සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් ‘වැල්ලේ සාරංග’ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඒ අනුවයි ආගමන හා විගමන නීති උල්ලංඝනය කිරීම යටතේ ඔහුව ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ. මනුෂ්‍ය ඝාතනයක් ඇතුළු අපරාධ කිහිපයකට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන වැල්ලේ සාරංග මෙරට පොලීසියට අත්‍යවශ්‍යව සිටි සැකකරුවෙක් වනවා.

මේ අතර මෙරට පොලීසියද සඳහන් කළේ තවත් මෙරට අපරාධවලට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් සම්බ්නධයෙන් මේ වන විටත් විදෙස් රටවල් කිහිපයකට රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

එමෙන්ම පොලීසිය සඳහන් කළේ විදෙස් රටවල සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයන් කිහිපදෙනෙකුම හඳුනාගෙන ඇති බවයි. 

විදෙස් රටවල සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් කිහිපදෙනෙකුද මේ වන විටත් හඳුනාගෙන තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි පොලීසියේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ.

එවැනි හඳුනාගත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුද පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා මේ වන විටත් පරීක්‍ෂණ සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.