Friday, September 27, 2024

General line - 0115112241

මඟ නැගුමෙන් ඉදිකිරීම් සමාගමකට ගෙවීමට නියමිතව තිබූ මුදලක් වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

උදය කුමාර




විවිධ බලපෑම් මත අනීතික ආකාරයෙන් කටයුතු කරමින්, “මග නැගුම” ආයතනය විසින් “2k” නමැති ඉදිකිරීම් සමාගමකට ගෙවීමට සූදානම් වූ රුපියල් මිලියන 150ක මුදලක් ගෙවීමට නොහැකි වන අයුරින් ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් අද නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අදාළ මුදල් නොගෙවීම පදනම් කරගෙන මඟ නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීම සඳහා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින්.

මඟනැගුම ආයතනයේ විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මෙම නියෝගය මීළඟ නඩු දිනය තෙක් බලපැවැත්වෙන බවත් අධිකරණය සඳහන් කළා. යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, මාර්ග සංවර්ධන අධිකාරිය, නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. 

පෙත්සම්කරු සඳහන් කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ  මඟ නැගුම ආයතනය ක්‍රියාත්මක වන බවත් එම ආයතනය විසින් “2ණ” නමැති ඉදිකිරීම් සමාගම වෙත ගෙවීමට නියමිතව තිබූ මුදල් ගෙවා අවසන් කර තිබූ බවයි. 

එසේ තිබියදී අදාළ ඉදිකිරීම් සමාගමට තවත් රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙස හිටපු විෂය භාර  අමාත්‍යවරයා සහ එවක අමාත්‍යංශයේ ලේකම්වරයා  විසින් මඟ නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දිගින් දිගටම බලපෑම් සිදු කළ බවත් ඒ පිළිබඳව “මඟ නැගුම” අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත්  කළ බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයද අදාළ ගෙවීම සිදු නොකිරීමට තීරණය කර තිබූ බව පෙත්සමේ සඳහන් වෙනවා.

මෙම සිද්ධිය හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදාළ ධූරයෙන් ඉවත් කර පසුව වැඩ බලන සභාපති ධුරයට පත් කරන ලද හිටපු ලේකම්වරයා විසින් මග නැගුම අධ්‍යක්ෂක මණ්ඩලයද විසුරුවා හැරීමට තීරණය කළ බවත් පෙත්සම් කරු සඳහන් කළා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පෙනී සිටියා.