Friday, September 27, 2024

General line - 0115112241

අධිකරණ නඩු භාණ්ඩ සොරකම් කිරීමට තැත්කළ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට




කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ කෘෂි රසායණික පැකට් තොගයක් සොරකම් කිරීමට උත්සාහ කළ පොලිස් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිස් ස්ථානයේම රාජකාරී සිදු කරන කොස්තාපල්වරයෙක්.

ඔහු ආණමඩුව ජල පොම්පාගාරය ආසන්නයේ පදිංචිකරුවෙකු වනවා.

කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දෛනික ආරක්ෂක රාජකාරි සදහා එම පොලිස් නිලධාරියා ඊයේ දිනයේ අනියුක්ත කර තිබුණා.

ඔහු රාජකාරි අවසන් වී යතුරු පැදියෙන් නිවස බලා යාමට සුදානම් වූ අවස්ථාවේ කිසියම් කාඩ්බෝඩ් පෙට්ටියක් යතුරු පැදියේ තබා ගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

එය ඇසින් දුටු පුද්ගලයෙකු විසින් ඒ පිළිබඳ කල්පිටිය පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව අදාළ පෙට්ටිය පොලිස් නිලධාරීන් විසින් පරීක්‍ෂා කර තිබෙනවා.

එහි තිබී කිලෝ ග්‍රෑමය බැගින් වූ කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු පෙට්ටි 12ක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

සැකකාර පොලිස් නිලධාරියා විසින් එලෙස රැගෙන යාමට උත්සහ කර ඇත්තේ කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ තැම්පත් කර තිබූ නඩු භාණ්ඩ බව සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. 

කෙසේවෙතත් නඩු භාණ්ඩ කාමරයේ තිබූ එම කෘෂි රසායනික පැකට් සැකකාර පොලිස් නිලධාරියා වෙත ලැබී ඇත්තේ කෙසේදැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.