Friday, September 27, 2024

General line - 0115112241

අතරමග නවතා තිබු ව්‍යාපෘති 11 නවතා තිබු යළි අරඹන්න ජපානයෙන් සහතිකයක්




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දෙන බව ජපානය පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පවසා ඇත්තේ.

ඒ, ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අවස්ථාවේදීයි.

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද ජපාන තානාපතිවරයා එහිදී පවසා තිබෙනවා.

මහනුවර නගරයේ ජල කළමනාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර ඒ අතරට අයත්.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ද නියමිතව තිබෙනවා. 

ඊට අමතරව ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින  හබරණ වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම  මෙන්ම වැඩ අවසන්ව ඇති කැලණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීම ද ඊට ඇතුළත් බවයි ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.