Friday, October 11, 2024

General line - 0115112241

කණ්ඩායම් 690ක් මහමැතිවරණයට සුදුසුකම් ලබද්දී නාම යෝජනා 74ක් ප්‍රතික්ෂේප වෙයි




ඉදිරි මහමැතිවරණය සඳහා කණ්ඩායම් 690ක් තරඟ කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.

මහමැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහ්න 12න් අවසන් වුණා.

ඉන් අනතුරුව මධ්‍යහ්න 12 සිට පස්වරු 01යි 30 දක්වා විරෝධතා භාර ගැනීම සිදු වුණා.  

නාම යෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ. 

ඉදිරි මහමැතිවරණය සඳහා ශක්තිමත් කණ්ඩායමක් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කය සඳහා එම පක්ෂයෙන් තරඟවදින අපේක්‍ෂකයන්ගේ නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

පසුගිය ජනාධිපතිවරණයේදී පැවති අඩුපාඩු නිවැරදි කර ගනිමින් සමගි ජන බලවේගය ඉදිරි මහමැතිවරණයට තරඟ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා පවසනවා.

මහනුවර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දීමෙන් අනතුරුව ඔවුන් මෙම අදහස් පළ කළා.

ගෑස් සිලින්ඩරය යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ වදින  මහනුවර දිස්ත්‍රික්කයේ සිය කණ්ඩායම ඉදිරි මහමැතිවරණය ජය ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මෙවර මහමැතිවරණයට තරඟ කරන අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.