Saturday, October 19, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට




සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හංවැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්ද සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් භාණ්ඩ සොරකම් කිරීම සහ මංකොල්ලකැම් ද සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඉන් එක් සැකකරුවෙකුට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුද නිකුත්කර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවන හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු පසුගිය කාලයේදීද අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර, නිධානයකින් ලබා ගන්නා ලද පෞරාණික වටිනාකමකින් යුතු මිල අධික මැණික් ගල් 04ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මහනුවර කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශ නිළධාරින්ගෙන් ලද තොරතුරකට අනුව තලාතුඔය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාතුඔය, හඟුරන්කෙත සහ කෙන්ගල්ල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 47, 49 සහ 53 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධ වැඩිදුර විමර්ශන තලාතුඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.