Sunday, October 20, 2024

General line - 0115112241

බෝම්බ බිය හේතුවෙන් කටුනායකට ගොඩ බැස්වූ ඉන්දීය ගුවන් යානය යළි මුම්බායි බලා පිටත්ව යයි




බෝම්බ බියක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී විශේෂ පරික්ෂාවකට ලක් කළ ගුවන් යානය ඊයේ රාත්‍රියේ මගීන් 64 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩල සේවකයන් 08 දෙනෙකු සමඟ ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

එම ගුවන් යානය ඊයේ මුම්බායි සිට දිවයිනට පියාසර කරමින් තිබියදී මුම්බායි ගුවන්තොටුපළ බලධාරින්ගෙන් කටුනායක ගුවන්තොටුපළ බලධාරින් වෙත දුරකථන ඇමතුමක් ලැබී තිබුණා.

ඒ, අදාළ ගුවන් යානයේ බෝම්බ බියක් ඇති බවට මුම්බායි ගුවන් තොටුපළ වෙත ලැබී තිබූ දුරකථන ඇමතුමක් පිළිබඳ දැනුම් දෙමින්.

වහා ක්‍රියාත්මක වූ මෙරට ආරක්ෂක අංශ එම ගුවන් යානය පැමිණීමට පෙර සිට ගිනි නිවීම් රථ කටුනායක ගුවන් තොටුපළ වෙත කැදවා සූදානමින් සිටියා.

එම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබෑමෙන් අනතුරුව එහි සිටි ගුවන් මගීන් 96 දෙනෙකු සහ කාර්ය මණ්ඩල නිලධාරින් 08 දෙනෙකු දැඩි පරික්ෂාවට ලක් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉන් අනතුරුව ගුවන් යානය ද දැඩි පරික්ෂාවකට ලක් කර තිබුණා.

කෙසේවෙතත් බෝම්බ බිය සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම ද තහවුරු කළා. 

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉන්දියානු ගුවන් යානා 20 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය කාලය තුළ මෙවැනි බෝම්බ බිය ඇති කරන සිද්ධීන් හේතුවෙන් හදිසි ගොඩ බැස්වීම් සිදුකර ඇති බවයි.