Monday, October 21, 2024

General line - 0115112241

කටුනායකට පැමිණි සැකකටයුතු චීන ජාතිකයින් දෙදෙනෙකු පිටුවහල් කෙරේ

ටී කේ ජී කපිල




කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණීමට තැත් කළ සැක කටයුතු විදේශිකයන් දෙදෙනෙක් පිටුවහල් කර තිබෙනවා. 

ඒ, ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි අරමුණ ආගමන විගමන නිලධාරීන් හමුවේ නිසි පරිදි අනාවරණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන්. 

එම විදේශිකයන් දෙදෙනා ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

එම විදේශිකයන් දෙදෙනා චීන ජාතික හැඩහුරුකම් සහිත පුද්ගලයන් දෙදෙනෙකු වූවද ඔවුන් සන්තකයෙහි තිබූ චීන ජාතික ගමන් බලපත්‍ර තුළ ඔවුන් උපන් ස්ථානය ලෙස චීනයේ ගමක නමක් සඳහන්ව තිබී නැහැ. 

කාම්බෝජ සහ තුර්කි ජාතික සත්‍ය ගමන් බලපත්‍ර ද ඔවුන් සතුව තිබී හමුවී තිබෙනවා. 

චීන රජයේ නීතිය අනුව එරට පුරවැසියන්ට ද්විත්ව පුරවැසිභාවයන් තබා ගත නොහැකි අතර එසේ වෙනත් රටක පුරවැසිභාවය ලබාගත හොත් චීන රජයේ පුරවැසිභාවය අහෝසි වනවා.

වයස අවුරුදු 36 ක් සහ 37 ක් වන එම විදේශිකයින් දෙදෙනා තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් - 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. 

නෙත් නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ, ඔවුන් මුදල් ගෙවා පහසුකම් සලසා ගන්නා ලද සේද මාවත ඔස්සේ ආගමන කවුළුව වෙත පැමිණ ඇති බවයි. 

එහිදී ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ හේතුව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් විමසන ලද අතර ඒ සදහා පිළිගත හැකි පිළිතුරක් ලබාදීමට එම විදේශිකයින් දෙදෙනා අපොහොසත් වී තිබෙනවා.
 

මේ වන විටත් චීන ජාතිකයන් ශ්‍රී ලංකාව තුළත්, අනෙකුත් විදේශීය රටවලත් මහා පරිමාණයෙන් පරිගණක අපරාධ සහ මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලි සදහා සම්බන්ධ වී සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. 

ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් එම විදේශිකයන් දෙදෙනා ආපසු ඔවුන් පැමිණි ගමනාන්තය වෙත පිටුවහල් කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාරදී තිබෙනවා.

කෙසේවෙතත් එම විදේශිකයින් දෙදෙනා පිටුවහල් කිරීමට පියවර ගැනීමත් සමඟ කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නිර්නාමික සහ බලපෑම් සහිත දුරකථන ඇමතුම් රාශියක් ද පැමිණ ඇති බවයි ගුවන්තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.