Monday, November 25, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව ගැටලුවට මව්පියන් පිරිසක් අධිකරණයට

උදය කුමාර




පසුගියදා පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. 

බදුල්ල දිස්ත්‍රික්කයෙන් අදාළ විභාගය සඳහා පෙනී සිටි  සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කළා. 

එහි වග උත්තර කරුවන් ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, අධ්‍යාපන ඇමතිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත්දා පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ  ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධිය හේතුවෙන් එම විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවයි. 

ඊට පිළියමක් ලෙස කලින් පිට වූ බව කියන ප්‍රශ්න 03 සඳහා අදාල විභාගයට පෙනී සිටි සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට බලධාරීන් විසින් තීරණයක් ගෙන තිබෙනවා. 

ඒ තුළින් අදාල විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන්ට අගතියක් සිදුවිය හැකි බවත් පෙත්සම්කරුවන්  පෙන්වා දෙනවා. 

මෙම ක්‍රියාව තුළින් ඉල්ලුම් කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඔවුන් අධිකරණයෙන් අයැද සිටිනවා. 

ඊට අමතරව කලින් පිට වූ බව කියන ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. 05 වසර ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිනවා.