Tuesday, October 22, 2024

General line - 0115112241

පානදුර අභිරහස් ඝාතනයක්

බිමල් ශ්‍යාමන්-සම්පත් කුලරත්න




පානදුර, මිනුවන්පිටිය, ගජබා පාරේ පිහිටි නිවසක, නිවෙස් හිමියෙකු ඝාතනය කර ඔහුගේ සිරුර කෙසෙල් පදුරක් තුළ සගවා තිබියදී සොයාගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා. 

අදාළ නිවසට ඇතුළු වී භාණ්ඩ සොරකම් කළ පාර්ශවයක් විසින් එම ඝාතනය සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. 

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ බිරිඳ ඊයේ දිනයේ තමන් රැකියාවට ගොස් නැවත පැමිණීමේදී සැමියා නිවසේ නොසිටි බවටත්, නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය, ගෑස් සිලින්ඩරය ඇතුළු භාණ්ඩ සොරකම් කර ඇති බවටත් ඊයේ රාත්‍රියේ පානදුර දකුණ පොලිසිය වෙත පැමිණිලි කර තිබුණා. 

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකල පොලිස් කණ්ඩායමක් අද දහවල් එම නිවස පරික්ෂාවට ලක් කළ අවස්ථාවේ නිවස පිටුපස කෙසෙල් පඳුරක් යට සඟවා තිබූ මළ සිරුර සොයාගෙන තිබෙනවා. 

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 77 හැවිරිදි  පුද්ගලයෙක්. 

අදාළ නිවස අවට සී සි ටි  වී දර්ශනවල පුද්ගලයන් දෙදෙනකු එම නිවස ආසන්නයේ ගැවසෙන ආකාරය සහ එක් පුද්ගලයකු පොහොර උරයක දමාගෙන යමක් රැගෙන යන ආකාරය සටහන්ව තිබෙනවා. 

ඒ ඔස්සේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විමර්ශන සිදු කරනවා.