Monday, November 25, 2024

General line - 0115112241

යාපනයේ හැර ඕනෑම අධිකරණයකට එන බව ගෝඨාභය කියයි

උදය කුමාර




2011 වසරේදී මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ  සාක්ෂිකරුවකු  ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ  වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. 

ඒ, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන එම නඩු විභාගයේදී සාක්ෂි  විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට එරෙහිව අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීයි. 

හිටපු ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය වෙත මේ බව දැනුම් දුන්නා.

මෙම පෙත්සම අද කැදවනු ලැබුවේ ප්‍රීති  පද්මන් සූරසේන,  ශිරාන් ගුණරත්න,  සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

එම අවස්ථාවේදී  ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ නඩුව සම්බන්ධයෙන් තම  සේවාදායකට යාපනය  අධිකරණය හමුවේ සාක්ෂි ලබාදිය නොහැකි බවයි.

එහෙත්  යාපනය අධිකරණය හැර වෙනත් අධිකරණයක සාක්ෂි ලබාදීම සදහා ඔහු කැමැත්තෙන් පසුවන බව ද ජනාධිපති නීතීඥවරයා සඳහන් කර සිටියා. 

ඊට පෙත්සම්කර පාර්ශ්වය විරෝධය පළ කළේ නැහැ. ඒ අනුව වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා මෙම පෙත්සම  ලබන  මාර්තු මස 18 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.

2011 වසරේ දෙසැම්බර් මස 10 වනදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන්  අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ හබයාස් කොප්‍රස් පෙත්සමකට අදාළව සාක්ෂි දීම සඳහා එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වනදා  පෙනී සිටින දන්වා එම අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණා.

තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන්  යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බවත් එබැවින් අදාළ සිතාසි බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 වසරේ අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබුණා.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාදීකරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහු සාක්ෂියට කැදවිය නොහැකි බවට  එම අවස්ථාවේදී නියෝගයක් නිකුත් කර තිබුණා.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසත්  ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.