Monday, November 25, 2024

General line - 0115112241

ජොන්ස්ටන් CIDයට - අල්ලන්න අධිකරණයෙන් වරෙන්තු

උදය කුමාර




අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් ගොනු කළ නඩුවට අදාළවයි.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියද පළමු වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. 

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අභියාචනාධීකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් නඩුකරයකට අදාළව ඊයේ දින ලබාදුන් ප්‍රතිඥාවකට අනුව තම සේවාදායකයා අද දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙන බව සඳහන් කළා. 

එම ප්‍රකාශය කෙරෙහි දැඩි දෝෂාරෝපණ එල්ල කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරු නඩුවට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදීමට යන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා.

විත්තිකරු නඩුවට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ඔහු අධිකරණය හමුවට පැමිණීම වළක්වාලමින් කිසිදු ආකාරයක නියෝගයක් අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර නොමැති බව පෙනී යන බවත් විනිසුරුවරයා පැවසුවා. 

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල විත්තිකරුට වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අධිකරණය හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළා. 

ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 27 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අවවාද කරනු ලැබුවා.