Wednesday, October 23, 2024

General line - 0115112241

ආරුගම්බේ ගැන රටවල් තුනක් අනතුරු අඟවයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය අද විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ, ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බැවින් ශ්‍රී ලංකාවේ ඇතැම් සංචාරක ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙස දැනුම් දෙමින්. 

ආරුගම්බේ සහ ශ්‍රී ලංකාවේ දකුණු සහ බටහිර කලාපවල පිහිටි වෙරළාසන්න ප්‍රදේශවලට අදාළවයි ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයින්ටද දන්වා ඇත්තේ සුපරික්ෂාකාරී වන ලෙසයි. එමෙන්ම විශාල වශයෙන් සාමුහික එක්රැස් නොවන ලෙසද දන්වා තිබෙනවා.

කෙසේවෙතත් එල්ල විය හැකි ත්‍රස්ත අවදානමෙහි ස්වභාවය සම්බන්ධයෙන් ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය විශේෂ සඳහනක් කර නැහැ.

මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට රැඳී සිටින අමෙරිකානු ජාතිකයින්ට අද දැනුම් දුන්නා.

ආරුගම්බේ ප්‍රදේශය සඳහා අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීම මත පදනම්ව බි්‍රතාන්‍ය රජය විසින් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබෙනවා. 

ඔවුන් පවසන්නේ කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක මර්මස්ථාන වෙත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට නිකුත්කර තිබූ සංචාරක උපදේශනය මත පදනම්ව බි්‍රතාන්‍ය එම පියවර ගත් බවයි.

එමෙන්ම කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය විසින් ද ශ්‍රී ලංකාවේ සිටින රුසියානු ජාතිකයින් ට විශේෂ දැනුම්දීමක් සිදු කළා.

ඒ, අවධානයෙන් සිටින ලෙසත් විශාල ලෙස පිරිස් ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් දැනුම් දෙමින්. 

ආරුගම්බේ ප්‍රදේශයේ දී විදෙස් ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවට ලැබුණු තොරතුරු මත ශ්‍රී ලංකා පොලීසිය නිල නිවේදනයක් නිකුත්කර ඇති බවයි කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය පවසන්නේ.

මෙම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගෙන් අද ප්‍රශ්න කළා. 

මේ අතර නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා මේ වන විට දැඩි පියවර ගෙන ඇති බවයි.