Wednesday, October 23, 2024

General line - 0115112241

නාමයෝජනා විසිවීමට එරෙහි අශේන්ගේ පෙත්සම අධිකරණයෙන් විසි වෙයි

උදය කුමාර




ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාර දුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම කණ්ඩායමේ නායක සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ අශේන් සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා 

ඒ, එම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුවයි. ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අස්ථික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ තම සේවා දායකයා මැතිවරණ නීතියට අනුකූලව සිය නාමයෝජනා පත්‍රය තේරීම් භාර නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබු බවයි. 

කෙසේවෙතත් මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, පෙත්සම්කරු මැතිවරණ නීතියට අනුකූලව සිය නාම යෝජනා පත්‍රය ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ නිලධාරීන්ට සිදුවූ බව සඳහන් කර සිටියා.  

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමකින් තොරව එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළා.

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හඬ පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා සහ සිංහල දීප ජාතික පෙරමුණ පක්ෂය විසින් කුරුණෑගල පුත්තලම හා බදුල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් බාර දුන් නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළා.