රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එමෙන්ම අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් සලසා ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක තිබී අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පසුගියදා පොලීසිය විසින් සොයාගනු ලැබුවා.
ඊට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඊයේ දිනයේ කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා.
ඒ, මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අදාළ වාහනය භාවිත කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව ඊයේ රාත්‍රී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළා. එහිදී මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඔහු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙසයි අධිකරණය විසින් නියෝග කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේ මහතාට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසද අධිකරණය විසින් නියම කර ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එම ස්ථානයට පැමිණ සිටියා.